පුරන්න
: Капитальный ремонт крыши. Быстрый ремонт крыши дома своими руками. Стоимость ремонта крыши. Ремонт потолка своими руками. Качественный ремонт потолков в квартире. Ремонт подвесных потолков. Схема подключения котла отопления. Быстрое подключение котла к системе отопления. Подключение батарей отопления схема.
Продажа самодельных вездеходов. Лучшие самодельные мини вездеходы. Устройство самодельных вездеходов. Ванная комната дизайн фото. Красивый дизайн интерьера ванной комнаты. Дизайн ванной комнаты в квартире. Как начать бизнес с нуля. Лучшие идеи малого бизнеса с нуля. Новый бизнес с нуля. Самодельные квадроциклы чертежи. Как сделать самодельный квадроцикл сегодня. Самодельный квадроцикл своими руками. Стяжка пола своими руками. Быстрая и сухая стяжка пола своими руками. Как сделать стяжку своими руками.
ඔබ මෙතනයි:  මුල් පිටුව අප ගැන ඉතිහාසය

ඉතිහාසය

මධ්‍යම වාරිමාර්ග මණ්ඩලය පිහිටුවීම

1884 දී පොදු ආදායමෙන් වාරිමාර්ග වැය ශීර්ෂ සඳහා දායකත්වය රු. 200,000 ක් ලෙස නියම කර තිබූ අතර 1887 දී ආණ්ඩුකාරවරයාගේ සභාපතිත්වයෙන් යුතුව පළාත් වලට සේවාවන් සැපයීම සඳහා පළාත් වාරිමාර්ග මණ්ඩල සහිතව මධ්‍යම වාරිමාර්ග මණ්ඩලය නිර්මාණය කරමින් ආඥාපනතේ සම්මත කරන ලදී. මෙම පළාත් මණ්ඩල දිසාපතිවරුන් සභාපතිත්වය යටතේ ක්‍රියාත්මක වූ අතර එක් එක් පළාතේ පළාත් ඉංජිනේරුවරයා හා ප‍්‍රධාන මිනින්දෝරුවරයාගේ සාමාජිකත්වයෙන් එම මණ්ඩල සමන්විත විය. ප‍්‍රතිපත්ති හා අරමුදල් වල මධ්‍යම පාලනය මධ්‍යම වාරිමාර්ග මණ්ඩලය මගින් සිදු කරන ලද අතර එහි සභාපතිත්වය දැරූ ආණ්ඩුකාරවරයාට අතිරේකව ප‍්‍රසිද්ධ වැඩ අධ්‍යක්ෂවරයා, මිනුම්පති හා සාමාන්‍ය ජනතාව අතරින් සාමාජිකයන් කිහිප දෙනෙකුගෙන් එය සමන්විත විය. සිය මව් දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය කාර්යයන්ට අතිරේකව මෙම වාරිමාර්ග මණ්ඩලවල කටයුතු කිරීම සඳහා ප‍්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අනුයුක්ත කරන ලදී. 1890 ජුලි මස දෙවැනි දින පවත්වන ලද වාරිමාර්ග මණ්ඩලයේ ප‍්‍රථම රැස්වීමේදී, ශ‍්‍රීමත් ආතර් හැව්ලොක්, වාරිමාර්ග කටයුතු ප‍්‍රගතිය කරා ගෙන යාමේ සිය අධිෂ්ඨානය ප‍්‍රකාශ කළේය. එනමුත් ව්‍යාපෘති අනුමත කිරීමේදී ඉමහත් විචක්ෂණශීලී ලෙස හා සැලකිල්ලෙන් එය සිදුකිරීමට ඔහුට සිදු විය.

ශ‍්‍රීමත් ආතර් හැව්ලොක්ගේ යුගයේදී සිදු කරන ලද කැපී පෙනෙන වාරි කර්මාන්යක් වූයේ මන්නාරම පිහිටි යෝධවැව සංස්කරණය කිරීමයි.

ප‍්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවෙන් වෙන් කිරීම හා ප‍්‍රථම වාරිමාර්ග අධ්‍යක්ෂවරයා පත් කිරීම

වාරිමාර්ග සහකාර හෙන්රි පාකර් 1898 දී මධ්‍යම මණ්ඩලයේ ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස මධ්‍යම වාරිමාර්ග මණ්ඩලයට පත් කරනු ලැබිණි. කෙසේ වෙතත්, 1896 - 1903 දක්වා ලංකාවේ පරිපාලනය පිළිබඳව ශ‍්‍රීමත් වෙස්ට් රිජ්වේගේ සමාලෝචනයෙන් කියැවෙන පරිදි වාරිමාර්ග මණ්ඩල ක‍්‍රමය අසතුටුදායක බවට ඔප්පු වී තිබිණි. "ප‍්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තු වල ඉංජිනේරුවන්ට ඉටු කිරීමට සිදු වූ වාරිමාර්ග කටයුතු අසීරු අතිරේක බරක් ඔවුන් මත පැටවූ අතර එබැවින් ඒවා සිදු කරන ලද්දේ මන්දෝත්සාහී හා අකාර්යක්ෂම ආකාරයෙනි" යනුවෙන් ඔහු සඳහන් කළේය. "ඉතාමත්ම දැඩි අධීක්ෂණය අවශ්‍ය වූ වාරිමාර්ග කාර්යයන් සඳහා ලැබුණේ අතිශයින්ම අල්ප වූ අධීක්ෂණයකි" යි ශ‍්‍රීමත් වෙස්ට් රිජ්වේ තවදුරටත් සඳහන් කළේය.

එෆ්. ඒ. කූපර් 1899 දී ප‍්‍රසිද්ධ වැඩ අධ්‍යක්ෂ වූ අතර කූපර්ගේ 1899 පරිපාලන වාර්තාවේ කිසිදු වාරිමාර්ග කාර්යයක් ඇතුලත්ව නොතිබණි. ‘‘වාරිමාර්ග නඩත්තුව පළාත් ගණනාවකදී මෙම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහාය ලබන පළාත් වාරිමාර්ග මණ්ඩල වෙත ප‍්‍රධාන වශයෙන්ම පැවරී ඇත.‘‘ යනුවෙන් එම වාර්තාව සඳහන් කරයි. මධ්‍යම වාරිමාර්ග මණ්ඩලයේ වාරිමාර්ග සහායක වන පාකර් යටතේ අනෙකුත් වාරිමාර්ග සහායකයන් සේවයේ පිහිටුවා ඇති අතර විශාල වාරි කටයුතු ඔහු භාරයේ සිදු වේ.

කාර්යක්ෂම ආකාරයෙන් වාරිමාර්ග කටයුතු සිදුකිරීම සඳහා 1900 මැයි 15 වැනි දින, ප‍්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවෙන් වෙන් වූ ආයනයක් ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව පිහිටුවන ලදී. ප‍්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයාව සිටි එච්. ටී. එස්. වෝර්ඩ් ප‍්‍රථම වාරිමාර්ග අධ්‍යක්ෂවරයා ලෙස පත් කෙරිණි.

එච්. ටී. එස්. වෝර්ඩ් ප‍්‍රථම වාරිමාර්ග අධ්‍යක්ෂ ලෙස පත්කිරීම සම්බන්ධයෙන් කූපර් සිය 1899 පරිපාලන වාර්තාවේ මෙසේ ලියයි. ‘‘වසර 24ක සේවා කාලයකින් පසු එච්. ටී. එස්. වෝඞ් මෙම දෙපාර්තමේන්තුවෙන් වෙන්ව යනු ඇත. ප‍්‍රසිද්ධ වැඩ සහකාර අධ්‍යක්ෂ ලෙස ඔහු මා වෙත ලබා දුන් විශ්වාසනීය සහයෝගය හා අගනා සහාය ප‍්‍රසිද්ධියේ කෘතඥතාව පළකිරීමට මම මෙය අවස්ථාව කර ගනිමි. වාරිමාර්ග අධ්‍යක්ෂ ලෙස පත්වෙමින් උසස්වීමක් ලබා මෙම දෙපාර්තමේන්තුව හැර යාමේදී ඔහුගේ අනාගත සාර්ථකත්වය අත්කර ගැනීම සඳහා වෝර්ඞ්ට මාගේ හෘදයාංගම ශුභාශිංසනය හිමි වේ’’

1900 දී රටේ ජනගහනය 35,21,000 වූ අතර රු. මිලියන 37.6 ක පිරිවැයක් දරමින් සහල් ටොන් මිලියන 5.6ක් ආනයනය කරන ලදී. එවකට ලංකාවේ වගා කරන ලද සමස්ත බිම් ප්‍රමාණය අක්කර 670,000 ක් වූ අතර වාරි ජල සම්පාදනය යටතේ වගා කෙරුණු අක්කර 220,000 කින් හා වර්ෂා ජලයෙන් පෝෂිත අක්කර 450,000 කින් මෙම බිම්ප‍්‍රමාණය සමන්විත විය. සහල් නිෂ්පාදනය වසරකට බුසල් මිලියන 18.6 ක් විය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිර්මාණය

වෙස්ට් රිජ්වේ ආණ්ඩුකාරවරයා විසින් සකසන ලද වාර්තාවකින් පසුව එච්. ටී. එස්. වෝර්ඩ් ප‍්‍රථම වාරිමාර්ග අධ්‍යක්ෂ ලෙස පත් කරමින් 1900 මැයි 15 වැනි දින වාරිමාර්ග කටයුතු සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටුවන ලදී. වාරිමාර්ග සහකාර හෙන්රි පාකර් ඔහුගේ දෙවැනියා වූ අතර තවත් වාරිමාර්ග ඉංජිනේරුවරුන් හත් දෙනෙකු නව දෙපාර්තමේන්තුවට පත් කෙරිණි. මොවුන් හා සමගම, ප‍්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවෙන් ස්ථාන මාරුවීම් ලබාදුන් සහකාර මිනින්දෝරුවරුන් දෙදෙනෙකුගෙන් පරීක්ෂකවරුන් දස දෙනෙකුගෙන් නව දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්ය මණ්ඩලය සැදුම් ලැබුවේය. දෙපාර්තමේන්තුව කොළඹ කොටුවේ යෝක් වීදියේ ‘ආකේඞ්‘ නම් වූ ගොඩනැගිල්ලක පවත්වා ගෙන එනු ලැබිණි.

සියළු වාරි කර්මාන්ත ප‍්‍රතිසංස්කරණය හා ඉදිකිරීමද විශාල වාරි යෝජනා ක‍්‍රම නඩත්තුවද නව දෙපාර්තමේන්තුවට පැවරිණි. පළාත් වාරිමාර්ග මණ්ඩල අහෝසි කරන ලද අතර සුළු වාරිමාර්ග නඩත්තු කටයුතු දිසාපතිවරයාගේ පාලනය යටතට ගෙන එන ලදී.

නව දෙපාර්තමේන්තුවේ තාක්ෂණික කාර්ය මණ්ඩලය

හෙන්රි පාකර් සුදුසුකම් ලත් ඉංජිනේරුවරයෙකු වූ නමුදු එවකට වාරිමාර්ග සහකාර තනතුරට පත්කරනු ලැබ සිටියේය. ඔහු දෙපාර්තමේන්තුවේ දෙවැනි ඉහළම නිලය දැරූ අතර එයට ඉතාමත්ම අගනා පුද්ගලයෙකු විය.

පාකර්ට සහාය වීම පිණිස, වාරිමාර්ග ඉංජිනේරුවරුන් හත් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ක්ෂේත‍්‍රයට යොදවන ලදී. එම ඉංජිනේරුවරුන් බෙදා හැරීම පහත සඳහන් පරිදි විය.

ඊ. ඩබ්ලිව්. කේඞ් වලවේ සහ කිරිඳි ඔය.
ජේ. ඩබ්ලිව්. නන් කලාවැව.
ඊ. ජී. ඊ. ව්ස් මින්නේරිය.
එස්. එම්. බවර් සකාමම්.
ජී. එච්. ඔ. බ‍්‍රයන් වාකනේරි.
ආර්. එෆ්. මොරිස් උනිච්චි.
ඕ. සී. වොට්ස් රෑගම්.

මෙම නිලධාරීන් හැරුණු කොට සහකාර ඉංජිනේරුවරයෙකු වාරි මිනින්දෝරුවරයෙකු, සහකාර මිනින්දෝරුවරුන් දෙදෙනා හා වාරිමාර්ග පරීක්ෂකවරුන් හා උප පරීක්ෂකවරුන් දස දෙනෙකුද වෝඞ් ක්ෂේත‍්‍රයෙහි සේවයට යොදවා ගත්තේය.

1900 මැයි 15 වැනි දින දෙපාර්තමේන්තුව එහි කටයුතු ආරම්භ කළ විට එය පහත සඳහන් ක‍්‍රියාත්මක යෝජනා ක‍්‍රම ප‍්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුව වෙතින් පවරා ගත්තේය.

අ. කලා වැව
ආ. අනුරාධපුර නගරයෙහි වැව්
ඇ. මින්නේරි, ගිරිතලේ හා තෝපාවැව
ඈ. මඩකලපුවේ පට්ටිපොල ආරු.
ඉ. මන්නාරම යෝධ වැව.
ඊ. තිසාවැව සහ වලවේ ගඟ.
උ. දැදුරු ඔය.

1900 න් පසු ඇති වූ ප‍්‍රවණතා

මෙම දශකයේ මැද භාගය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සේවක සංඛ්‍යාව 22 පමණ වූ අතර පළමුවැනි ලෝක මහා යුද්ධය හේතුවෙන් එම වකවානුව තුළ එහි කටයුතු පොදුවේ එතරම් සතුටුදායක නොවුණි. අනෙක් හේතුව වූයේ පොදුවේ කාර්යමණ්ඩලයේ සෞඛ්‍ය තත්වයයි. නිලධාරීන් ගණනාවක් අසනීප හේතුවෙන් නිවාඩු ලබා සිටියහ.

දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලය තවදුරටත් ත‍්‍රිකුණාමලයේ පිහිටි අතර එබැවින් වාරිමාර්ග සංවර්ධන කටයුතු වැඩි වශයෙන්ම උතුර, උතුරු මැද, හා නැගෙනහිර පළාත් වෙත සාන්ද්‍රණය වී පැවතිණි. කෙසේ වෙතත් ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය නිරන්තරයෙන්ම කොළඹට පැමිණීම හේතුවෙන් ප‍්‍රධාන කාර්යාලය කොළඹින් බැහැර පිහිටා තිබීමේ අවාසිය දැනිණි. ප‍්‍රධාන කාර්යාලය කොළඹට ගෙන ඒම පිළිබඳ කරුණ මෙම දශකයේ අවසාන භාගයේදී මතු කරන ලදී.

වාරිමාර්ග අධ්‍යක්ෂ, බැල්ෆර්ගේ කැපවීමෙන් යුක්ත වූ නායකත්වය හේතුවෙන් මෙම දශකය තුළදී වාරිමාර්ග සැලසුම් කිරීමේදී, ජලගැලීම් ආරක්ෂක ක‍්‍රියාමාර්ග වලදී හා ජල කළමනාකරණයේදී වඩාත් විද්‍යාත්මක යෙදවුම් විකාශනය මතු වී ආවේය. ''වාරිමාර්ග සටහන්'' නමින් වාරිමාර්ග ඉංජිනෙරුවරුන් සඳහා මගපෙන්වන වෘත්තිමය සටහන් 1914 දී ප‍්‍රකාශයට පත් කරන ලදී. පරිපාලන මාර්ගෝපදේශනය සඳහා වන වාරිමාර්ග අත්පොතද එම වර්ෂයේදීම ප‍්‍රකාශයට පත් විය.

එවකට පැවති වාරිමාර්ග ආඥාපනත සංශෝධනය කරන ලද අතර 1909 දී ප‍්‍රකාශයට පත් වූ ඩබ්ලිව්. එල්. ස්ටේ‍්‍රන්ජ්ගේ වාර්තාව මත පදනම්ව 1917 අංක 45 දරන නව ආඥාපනත බලාත්මක කරන ලදී.

මෙම කාලපරිච්ජේදය අතරතුරදී වෙනස්කම් ගණනාවක් හඳුන්වාදෙන ලද අතර පරිපාලනය විමධ්‍යගත කෙරිණි. අදාල ප‍්‍රදේශ භාරව ප‍්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරුන් සහිතව මුළු දිවයිනම ආවරණය සහ ජල විද්‍යාත්මක කොට්ඨාශ හයක් දෙපාර්තමේන්තුව ස්ථාපනය කළේය. උප කොට්ඨාශ භාරව වාරිමාර්ග ඉංජිනේරුවරුන් 26 දෙනෙක් වූහ. කොට්ඨාශ ඉංජිනේරුවරුන් ප‍්‍රධාන කාර්යාලයේ සිට ක‍්‍රියාත්මක වූ අතර උප කොට්ඨාශ ඉංජිනේරුවරු ක්ෂේත‍්‍රයේ කටයුතු කළහ.

විමධ්‍යගත කිරිම සඳහා ගන්නා ලද මෙම පියවර ඉතා වාසි සහගත බව ඔප්පු වූ අතර කාර්යයන් ඉටුකිරීම සඳහා එය විශාල ලෙස පහසුකම් සැපයුවේය. සුළු කරණු ලෙස ප‍්‍රධාන කාර්යාලයේදී මගහරිනු ලැබූ කටයුතු බොහොමයක් මෙලෙස ප‍්‍රාදේශීය වශයෙන් ඉටු කර ගැනීමේ හැකියාව ලැබිණි.

1930 දශකයට පෙර ඉටු කරන ලද ප‍්‍රධාන කාර්යයන් කිහිපයක්

මල්වතු ඔය ජල සම්පත් සැලසුම් කිරීම

අඹන්ගඟේ ජලය යෝධ වැව දක්වා මල්වතු ඔය නිම්නය තුළට ගෙන ඒමේ යෝජනා ක‍්‍රමයකට මෙම දශකය තුළදී ප‍්‍රමුඛතාවය දෙන ලදී. උතුරු මැද හා උතුරු පළාත්වල මල්වතු ඔය පෝෂක ප‍්‍රදේශය තුළ ප‍්‍රතිසංස්කරණය කරන ලද ග‍්‍රාමීය වැව් විශාල සංඛ්‍යාවට එම පෝෂක ප‍්‍රදේශයෙන් ගලා එන වර්ෂා ජලය මුළු ප‍්‍රමාණයම පාහේ අවශ්‍ය වන බව පෙනී යන ලදී. ඇතැම් වර්ෂ වලදී විශාල ජල අතිරික්තයක් පවතින බවත් වැව් වලින් වාන් දමන ජලය විශාල ප‍්‍රමාණයක් මුහුදට ගලා යන බවත් අවබෝධ විය. මෙලෙස අධික වර්ෂාපතනය සහිත වර්ෂවලදී වැව් වාන් දැමීම වැලැක්වීම සඳහා ඒවා විශාල කරන ලද්දේ නම් වර්ෂාවේ ප‍්‍රශස්ත ප‍්‍රතිලාභ ලබාගැනීමට හැකිවන බව හැඟී යන ලදී. වැව් වල ධාරිතාව වැඩි කිරීම මගින් ජලාශ ධාරිතාවෙන් විශාල ප‍්‍රමාණයක් බොහෝ විට ප‍්‍රයෝජනයට නොගෙන පැවතීම වළකින බවද පෙනී යන ලදී. යෝධ වැව යටතේ වාරි ජල සම්පාදනය සඳහා තවත් ඉඩම් ප‍්‍රමාණයක් සංවර්ධනය කිරීමටත් ආකාතිමුරිප්පු වල මෙම ඉඩම් වෙනුවෙන් කාර්යක්ෂම වාරිමාර්ග පද්ධතියක් සැපයීමටත් යෝජනාවක් තිබී ඇත.

මේ සඳහා පළමු පියවර වූයේ මහවැලිගඟේ අතු ගංගාවක් වන මාතලේ කඳුකරයෙහි ජල මූලාශ‍්‍ර සහිත අඹන්ගඟෙන් මල්වතු ඔය නිම්නයට ජලය ගෙන ආ හැකිද යන්න තහවුරු කර ගැනීමයි. එබැවින් යෝධ වැවට ජල සැපයුම වැඩිකර අරුවි ආරු වම් ඉවුරේ පිහිටි යෝජිත අකතිමුරිප්පු යෝජනා ක‍්‍රමයට ජලය සැපයීමේ අරමුණින් නාලන්ද ඔයේ ජලය මල්වතු ඔය නිම්නයට හැරවීමේ යෝජනා ක‍්‍රමයක් විමසා බලන ලදී. නාලන්ද ඔය හරහා යෝජිත ජලාශය හා දඹුල්ල අසල තවත් රැඳවුම් ජලාශයක් සඳහා සමෝච්ඡ රේඛා මිනුම් සිදු කරන ලදී. යෝජනා ක‍්‍රමයේ ඉහළ කොටසේ පිහිටි යෝජිත වේලි හා ඇලමාර්ග සඳහා සැලසුම් හා ඇස්තමේන්තු සැකසීම ඇරඹිණි.

අපතේ යාම් තක්සේරු කිරීම හා කන්න අනුව සැලසුම් කිරීම

වී වගාව සඳහා ජලය ඇස්තමේන්තු කරීම 1909 දී ජේ. එම්. ඩබ්ලිව්. පාර්ක් විසින් සිදු කරන ලද අතර මෙම කාර්යය සඳහා එවකට තිබූ එකම මාර්ගෝපදේශය වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිවේදන පත‍්‍රිකා අංක 46 යි. මෙයට අනුව, සාර්ථක පැළෑටි වර්ධනය සඳහා පස් නිධියක 12% සිට 20% තෙතමනය අවශ්‍ය බව සඳහන් විය. තවද වර්ෂයේ කවර කාලයකදීවත් පසෙහි තෙතමනය ප‍්‍රමාණය 8% සිට 14% අඩු අගයකට පහළ නොබැසිය යුතුය. වැව් ජල මතුපිටින් වාෂ්ප වීමෙන් අපතේ යාම හා බෙදා හැරීම් පද්ධතියේදී වෑස්සීමෙන් අපතේ යාම පිළිබඳව ඔවුන් දැනුවත්ව සිටිය නමුත් එය ප‍්‍රමාණනය කිරීමක් කළ නොහැකි විය. කෙසේ වෙතත් ඉහත මාර්ගෝපදේශන අර්ථකථනය කිරීමෙන් මහ කන්නය තුළදී මාසයක් මුඵල්ලේ ජලය අඟල් 8 ක් හා යල කන්නයේදී අඟල් 10 ක් නැගෙනහිර පළාතේ ජල අවශ්‍යතාව ලෙස උපකල්පනය කරන ලදී. ඉඩම් පිළියෙල කිරීම සම්පූර්ණයෙන්ම වැසි ජලය යොදාගෙන සිදු කෙරුණු අතර මහ කන්නයේදී වාරිමාර්ග ජලය නිකුත් නොකෙරිණි. ඇල මාර්ගවල අපතේ යාම් වලට 33% භාවිතා වූ අතර යල කන්නයේදී බිම් සැකසීම සඳහා ජලය අඟල් 12 සලකා බලන ලදී. නිදහස් ජලය වාෂ්පවීම යල කන්නයේදී අඟල් 40 ක් ලෙස උපකල්පනය කරන ලද නමුත් මහ කන්නයේදී වාෂ්ප වීම ඔක්තෝබර් මාසයේ සිට දෙසැම්බර් මාසය තෙක් වැවට ජලය ගලා ඒම සමබර කරන බව විශ්වාස කෙරිණි.

වාරිමාර්ග පහසුකම් සැපයීම

1912 සිට 1913 කාල පරිච්ජේදය තුළදී, වාරිමාර්ග දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය විශාල යෝජනා ක‍්‍රම සම්පූර්ණ කිරීම තුළින් ලැබිය හැකි ජලය උපයෝජනය කිරීම සඳහා යෝජනා වල අඩංගු විය යුතු විස්තර සකස් කිරීමේ කාර්යයෙහි වැඩි වශයෙන් නියැලී සිටියහ. නිශ්චිත ප‍්‍රදේශයක් හඳුනාගෙන වාරිමාර්ග පහසුකම් වෙනුවෙන් සවිස්තරාත්මක සැලසුමක් සැපයිම අවශ්‍ය යැයි එවකට නොසැලකිණි. වගා කරන්නන්ට තමන්ගේම ඇලමාර්ග කපා ගැනීමට ඉඩ හරිමින් වැවේ ප‍්‍රධාන කොටස් හා ඇතැම් විට ප‍්‍රධාන ඇලමාර්ගයක් පමණක් ඉදිකිරීම ප‍්‍රමාණවත් ලෙස සලකන ලදී. මෙම ක‍්‍රියාපටිපාටිය වෙනස් කරන ලද අතර සම්පූර්ණ ඇල මාර්ග පද්ධතියක් ඉදි කිරීමේ අවශ්‍යතාව හඳුනාගන්නා ලදී. කෙසේ වෙතත් වාරිමාර්ග සඳහා ජලය නිකුත් කිරීමට පෙර, විශාල ප‍්‍රමාණයක මූලික මිනුම්, සැලසුම් කටයුතු හා ඉදිකිරීම් මෙම ක‍්‍රමයට සම්බන්ධ විය.

ගොවිපළෙහි ජල කළමනාකරණය

යටත්විජිත ඉංජිනේරුවරු වාරි කර්මාන්ත සැලසුම් කිරීම හා ඉදිකිරීම සම්බන්ධයෙන් උනන්දු වූවා පමණක් නොව 'ගොවිපලෙහි' ජල කළමනාකරණය කෙරෙහිද දැඩි උනන්දුවක් දැක්වූහ. එවකට කොට්ඨාශ භාරව සිටි ඇතැම් ඉංජිනේරුවරුන් විසින් කරන ලද පහත ප‍්‍රකාශන මගින් එය ප‍්‍රකට වේ. 1915 දී දකුණු කොට්ඨාශයේ කොට්ඨාශ ඉංජිනේරු වූ ආර්. එෆ්. මොරිස්ට අනුව, "වගා නීති තිබියදීත්, නගුල භාවිතා කෙරෙන්නේ ස්වල්ප වශයෙන්. ගවයින් යෙදීමෙන් බිම යන්තමින් මඩ වෙන අතර මාතර දිස්ත‍්‍රික්කයේ ඇතැම් ස්ථානවල උදළු පමණක් යොදාගෙන මතුපිට පස කොටා පෙරලීම සිදු වේ."හම්බන්තොට වාරිමාර්ග ඉංජිනේරුවරයා තිස්ස වැව යටතේ වඩාත් ලාභදායක වාරි සම්පාදන ක‍්‍රම ඇති කිරීමට සැලකිය යුතු ප‍්‍රයත්නයක් දැරූ අතර විශේෂ මහා රැස්වීම් පැවැත්වීමට නිතර තිස්ස කරා ගිය හම්බන්තොට සහකාර ආණ්ඩුවේ ඒජන්තවරයාගෙන් ඔහුට විශාල සහායක් ලැබිණි. බිම මට්ටම් කර ලියදු සැකසීම ජල නිකුත් කිරීමට පෙර සිදුව තිබිය යුතු බව අවධාරණය කෙරිණි. වර්ෂාපතනයේ බලපෑම සැලකිල්ලට ගනිමින් ඉන් අනතුරුව ප‍්‍රමාණවත් ජලය නිදහස් කරනු ලැබිණි. එම වකවානුවේදී ජලය නිකුත් කිරීමේදී යොදාගත් නිර්ණායකය වූයේ මඩ කිරීමේ කාලයේදී සතියකට අඟල් 4 ක් හා ඉන්පසු සතියකට අඟල් 3 ක් බැගින් විය.

ප‍්‍රගතිශීලී ප‍්‍රතිපත්තිය

සහල්වල අධික මිල හා එය ලබාගැනීමේ අපහසුව හේතුවෙන් දිවයිනේ ආහාර නිෂ්පාදන ගැටළුව විමසා බැලීම සඳහා අග‍්‍රාණ්ඩුකාරතුමා විසින් 1920 දී කමිටුවක් පත් කරන ලදී. වාරිමාර්ග අධ්‍යක්ෂ බේකර් මෙම කමිටුවේ සාමාජිකයෙකු ලෙස පත් කෙරිණි. මෙම කමිටුව විසින් සම්මත කරන ලද ඉතාමත්ම වැදගත් යෝජනාවක් පහත සඳහන් පරිදි විය.

"රජය විසින් දැන් සම්මත කරගෙන ඇති ගොවිජන ප‍්‍රතිපත්තිය සැලකිල්ලට ගනිමින්, වසර දහයක් පමණ අත්හිටුවා තිබු නව වාරි කර්මාන්ත වැඩ සටහන යළි ආරම්භ කළ යුතු බවත් ඉදිරියේදී වාරිමාර්ග දෙපාර්තමේන්තුව ආදායම් උපදවන දෙපාර්තමේන්තුවක් ලෙස නොව ප‍්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුව මෙන් මුදල් වැය කරන දෙපාර්තමේන්තුවක් ලෙස සැලකිය යුතු බවත් කමිටුව යෝජනා කරයි."

1920 දී වාරිමාර්ග සම්බන්ධ ප‍්‍රගතිශීලී ප‍්‍රතිපත්තියක් නිර්දේශ කරමින් වාරිමාර්ග අධ්‍යක්ෂවරයා විසින් රජය වෙත වාර්තාවක් භාර දෙන ලදි. එම නව නිර්දේශවල සාරාංශයක් පහත දක්වා ඇත.

  1. Shifting of the Departmental headquarters to Colombo from Trincomalee.
  2. Provision of housing for the staff.
  3. Increase in number and pay of field staff.
  4. Increase in number and pay of engineering staff.
  5. Physical improvements to irrigation schemes.
  6. Investigation and construction of further major irrigation schemes.

1930 න් පසු සංවර්ධනය

දෙපාර්තමේන්තු ප‍්‍රධාන කාර්යාලය ත‍්‍රිකුණාමලයේ සිට පිටකොටුවේ පැරණි නගර ශාලාවට ගෙන එන ලද අතර ඉන්පසුව 1931 නොවැම්බර් මසදී එය කොළඹ කොටුවේ මහලේකම් කාර්යාල ගොඩනැගිල්ලට ගෙන යන ලදී. මෙම දශකයේ ආරම්භයේදී ඩබ්ලිව්. බ‍්‍රවුන් වාරිමාර්ග අධ්‍යක්ෂ වූ අතර 1931 දී බී. ජී. මීඩින් එම පදවියට පත්වන තුරු අධ්‍යක්ෂ ධූරය හෙබවීය. බ‍්‍රවුන් අධ්‍යක්ෂ ධූරය දරන අතරතුර 1930 මැයි මසදී කොලඹ ප‍්‍රදේශ ගණනාවක් ව්‍යසනයට පත් කළ දැඩි ජල ගැල්මක බලපෑමට මුහුණදීමට දෙපාර්තමේන්තුවට සිදුවිය. කැළණිගඟේ ජල ගැලීම් ආරක්ෂක යෝජනා ක‍්‍රමයේ අසාර්ථකත්වය ඉංජිනෙරුවරුන් කණ්ඩායමක් විසින් විමර්ශනය කරන ලදී.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කාර්යයන් පැහැදිලිව නියම කරන ලද අතර 1936 දී කෙනඞ් විසින් දෙපාර්තමේන්තු සංවිධානය වෙනසකට ලක් කරන ලදී. වගාව සඳහා වැඩි වූ ප‍්‍රදේශ කෙරෙහි අවධානය යොමු කරමින් දිවයින පුරා විසිරුණු ග‍්‍රාමීය වාරි කර්මාන්තවල පුනරුත්ථාපනයට ප‍්‍රමුඛතාව දෙන ලද අතර විශේෂ ජංගම ග‍්‍රාමීය වාරි කර්මාන්ත අංශයක් ඇති කරනු ලැබිණි. ඉහත පැහැදිලි කරන ලද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නව ප‍්‍රධාන වාරි කර්මාන්ත ගණනාවක ඉදිකිරීම් කටයුතු ආරම්භ කළේය. 1939 දී මිනිපේ ඇල අමුණ ප‍්‍රතිසංස්කරණය කිරීමත් සමග දෙපාර්තමේන්තුවේ ඉතිහාසයේ ප‍්‍රථම වරට මහවැලි ගඟ වාරි කටයුතු සඳහා යොදා ගන්නා ලදී. මෙම දශකය තුළ 1937 දී පරාක‍්‍රම සමුද්‍ර යෝජනා ක‍්‍රමයේ හා මිනිපේදී ප‍්‍රථම වතාවට බර යන්ත‍්‍රසූත‍්‍ර යොදා ගැනිණි.

ජනතාවගේ අවශ්‍යතා පරිදි කෘෂිකාර්මික ඉඩම් ක‍්‍රමානුකූලව සංවර්ධනය කිරීම සඳහා, ප‍්‍රමුඛතා වැඩසටහන් පිලියෙල කිරීම හා වාරි කර්මාන්ත විමර්ශනය හා ඉදිකිරීම පිණිස 1934 දී දිස්ත‍්‍රික් කෘෂිකාර්මික කමිටු පිහිටුවනු ලැබිණි. ගොවීන්ගේ අවශ්‍යතා ඉටු කිරීම පිණිස මෙම ක්‍රමවේදය දෙපාර්තමේන්තුවට බොහෝ පිටිවහල් විය. මෙම දශකය තුළදී, දෙපාර්තමේන්තු ක‍්‍රියාකාරකම් පැහැදිලි ලෙස ව්‍යාප්ත විය.

ජල ශක්ති පර්යේෂණාගාරය පිහිටුවීම

ආචාර්ය ආර්. වී. බර්න්ස් පුහුණු කරිම් හා පර්යේෂණ ඉංජිනේරුවරයා ලෙස කෙනඩිගේ මාර්ගෝපදේශකත්වය යටතේ 1937 පෙබරවාරි මසදී වැඩ භාර ගත්තේය.

කොළඹ ප‍්‍රදේශයේ ස්ථාන ගණනාවක් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා සලකා බැලීමෙන් පසුව අවසානයේදී බුලර්ස් පාර හා ජාවත්ත පාර හමුවන ස්ථානයේ බිම් කඩක් තෝරා ගන්නා ලදී. මෙම බිම්කඩ භාවිතා කිරීම පිණිස අවසරය 1937 අපේ‍්‍රල් මසදී ලබා ගැනිණි. ඔහු ගොඩනැගිල්ල හා එහි අභ්‍යන්තර සැකැස්ම සැලසුම් කර එහි ඉදිකිරීම් ආරම්භ කළේය. 1937 දෙසැම්බර් මස අවසානය වන විට අඩි 50 පමණ වීදුරු බිත්ති සහිත ගලා යන ජලයේ විභවය මැනිය හැකි උපකරණ සහිත ඇලක් විද්‍යාගාරයේ සවි කරන ලදී. පරීක්ෂණ සඳහා ජලය බෙදා හැරීම පිණිස පොම්ප හා නල පද්ධතියක් සවි කිරීම සලකා බලන ලද අතර 1938 මුල් භාගයේදී මේවා සවිකළ වහාම විද්‍යාගාරය භාවිතය සඳහා සූදානම්ව පැවතිණි.

අග‍්‍රාණ්ඩුකාර ශ‍්‍රීමත් ඇන්ඩෲ කැල්ඩිකොට් විසින් 1938 මැයි 21 වැනි දින ජල ශක්ති විද්‍යාගාරය නිල වශයෙන් විවෘත කරන ලදී. බර්න්ස් වැඩ භාර ගැනීමෙන් මාස 8 ක් ඇතුළත ගොඩනැගිල්ල භාවිතයට ගැනිණ. ඉදි කරන ලද ප‍්‍රථම භෞතික ආකාතිය 1938 දී ඉදි කළ නිල්වලා ගඟ ආකෘතිය වූ අතර 1939 දී කැළණි ගඟ ආකෘතිය ඉදි කරන ලදී.

1935 සිට 1939 දක්වා වාරිමාර්ග අධ්‍යක්ෂ වූ ජේ. එස්. කෙනඩිගේ දූරදර්ශී දැක්ම හේතුවෙන් පෙර දශකය තුළදී වාරිමාර්ග දෙපාර්තමේන්තු ව්‍යුහය වෙනස්කර ශක්තිමත් කෙරිණි. කෙනඩිගේ සංකල්ප වඩාත් ශක්තිමත්ව හා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින් 1939 යේදී වාරිමාර්ග අධ්‍යක්ෂ තනතුරට පත් වූ එස්.ජී. ටේලර් විසින් ප්‍රසංශනීය සේවයක් ගොවි ජනතාව වෙත මෙන්ම ඔහුගේ සේවකයන් හටද ලබාදෙන ලදී. වසර 11 ක් වූ දීර්ඝතම කාලපරිච්ජේදයක් දෙපාර්තමේන්තුවේ සේවය කළ අධ්‍යක්ෂවරයා ඔහු විය. දෙවැනි ලෝක මහා යුද්ධය හේතුවෙන් දශකය ආරම්භයේදී දෙපාර්තමේන්තුවේ ක‍්‍රියාකාරකම්වල යම් පසුබෑමක් තිබී ඇත. ටේලර් විශිෂ්ඨ වැඩ නායකයෙකු වූ අතර අවංකව කථා කළ ඔහු අපක්ෂපාතී ලෙස සියල්ලන්ට සැලකුවේය. දෙපාර්තමේන්තුවේ ක‍්‍රියාකාරකම්වල උන්නතිය උදෙසා ඔහු දිවා රාත්‍රී නොබලා කටයුතු කළේය. වාරිමාර්ග දෙපාර්තමේන්තුව මෙම කාල පරිච්ජේදය තුළ විශේෂයෙන්ම ආහාර නිෂ්පාදන පරිශ‍්‍රමය වෙනුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මහත් ජවයකින් දියුණුව කරා ගෙන යන ලදී. කෙසේ වෙතත් මෙම තත්ත්වය අවබෝධ කරගනිමින් ටේලර්, විධායක දිස්ත‍්‍රික්ක සංඛ්‍යාව 27 සිට 18 දක්වා අඩු කිරීමෙන් හා දිවයින ප‍්‍රාදේශීය කොට්ඨාශ 6කට බෙදීමෙන් දෙපාර්තමේන්තුවේ ප‍්‍රාදේශීය සංවිධානය යළි සකස් කළේය. එවකට කොට්ඨාශ වූයේ, කොළඹ, තංගල්ල, බණ්ඩාරවෙල, අනුරාධපුර, වවුනියාව හා මඩකලපුවේ.

1942 දී සුප‍්‍රකට ඉංජිනේරු ආර්. වී. බම්ස් යටතේ පුහුණු පර්යේෂණ හා සැලසුම් අංශ ඇති කිරිම, අංග සම්පූර්ණ ජාල ශක්ති විද්‍යා විද්‍යාගාරය ස්ථාවර තත්වයට පත් කිරීමට හා ජල මිනුම් අංශය හා පාංශු යාන්ත‍්‍ර විද්‍යා විද්‍යාගාරය ඇති කිරීමට මග පෑදුවේය.

එම කාලපරිච්ජේදය තුළදීම පුහුණු, පර්යේෂණ හා සැලසුම් අංශය ප‍්‍රතිසංවිධානය කර පර්යේෂණ විද්‍යාගාර හා සැලසුම් කාර්යාල සියල්ලම මධ්‍යම සැලසුම් හා පර්යේෂණ කාර්යාලය ලෙසින් හැඳින්වුණු මධ්‍යගත ආයතනයකට ඒකාබද්ධ කරන ලදී.

මරදාන අළුත්වැඩියා කිරීම් වැඩපොලේ සිට යාන්ත‍්‍රික අංශය රත්මලානට ගෙන යාමෙන් හා ප‍්‍රධාන යාන්ත‍්‍රික ඉංජිනේරු ඒ. එච්. ජොන්සන් යටතේ එය පුළුල් කිරීම මෙම කාලසීමාව තුළ අත් කරගත් සුවිශේෂී ජයග‍්‍රහණයක් විය. දෙවැනි ලෝක මහා යුද්ධය අතරතුරදී සිදුවු බාධාවන් තිබියදීත් දශකයේ අවසාන භාගය වන විට දෙපාර්තමේන්තුවේ ක‍්‍රියාකාරකම් ඉහළ මට්ටමට පැමිණ තිබිණි. ප‍්‍රධාන ඉදිකිරීම් කාර්යයන් සඳහා දෙපාර්තමේන්තුව ඉදිකිරීම් ඉංජිනේරුවරුන්ගේ සේවය ලබාගත අතර තෝරාගත් පළමු ක්ෂේත‍්‍ර සහකාර කණ්ඩායම විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ඉන්දියාවට යැවුයේය. 1940 ගණන් වල අගභාගයේදී ඉදි කරන ලද මෙරට ප‍්‍රථම බහුකාර්ය ජලාශ ව්‍යාපාතිය වූ ගල්ඔය ව්‍යාපාතිය සැලසුම් කිරීම, නිර්මාණය හා ඉදිකිරීම, කෙටි කාල පරිච්ජේදයක් තුළ වාරිමාර්ග දෙපාර්තෙමින්තුවේ කුසලතාවය හා ජවය ප‍්‍රදර්ශනය කළේය. ඇමරිකා එක්සත් ජනපදයේ මොරිසන් ක්නූඞ්සන් ආයතනය දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය යටතේ 1949 දී ගල්ඔය වේල්ල ඉදිකිරීම ආරම්භ කළේය. ඉන්පසු එළඹි වර්ෂවලදී විශාල ඉදිකිරීම් කටයුතු භාරගැනීම සඳහා මෙය දෙපාර්තමේන්තුවේ චිත්ත ශක්තිය වර්ධනය කළ කාර්යයක් විය.

පෙර සිටි දෙපාර්තමේන්තු ප‍්‍රධානීන්

1900 වර්ෂයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරු

ඉංජිනේරු එච්. ටී. එස්. වෝර්ඞ් 1900 - 1908
ඉංජිනේරු ආර්. ඩබ්ලිව්. ස්මිත් 1909 - 1913
ඉංජිනේරු ජේ. ඒ. බැල්ෆර් 1913 - 1918
ඉංජිනේරු සී. එෆ්. එස්. බේකර් 1918 - 1923
ඉංජිනේරු ආර්. එෆ්. මොරිස් 1923 - 1928
ඉංජිනේරු ඩබ්ලිව්. බ‍්‍රවුන් 1928 - 1931
ඉංජිනේරු බී. ජී. බීඞ්න් 1931 - 1935
ඉංජිනේරු ජේ. එෆ්. කෙනඩි 1935 - 1939
ඉංජිනේරු එස්. ජී. ටේලර් 1939 - 1950
ඉංජිනේරු ඩබ්ලිව්. ඒ. ගුත‍්‍රී 1950 - 1952
ඉංජිනේරු ඩබ්ලිව්. ටී. අයි. අලගරත්නම් 1952 - 1955
ඉංජිනේරු ඒ. ඊ. සී. ද එස් ගුණසේකර 1955 - 1965
ඉංජිනේරු ටී. ඞී. ඊ. සෙනෙවිරත්න 1965 - 1967
ඉංජිනේරු වී. එන්. රාජරත්නම් 1967 - 1970
ඉංජිනේරු එච්. ද එස් මනම්පේරි 1970 - 1973
ඉංජිනේරු පී. එච්. පෙරේරා 1973 - 1976
ඉංජිනේරු ඒ. මහේෂ්වරන් 1976 - 1979
ඉංජිනේරු ආර්. යූ. ප‍්‍රනාන්දු 1979 - 1981
ඉංජිනේරු ආර්. ජේ. පී. පොන්රාජා 1981 - 1984
ඉංජිනේරු එස්. සිවසුබ‍්‍රමනියම් 1985.02.05 - 1985.10.11
ඉංජිනේරු කේ. ඞී. පී. පෙරේරා 1985.10.12 - 1989.03.29
ඉංජිනේරු එන්. ජී. ආර් ද සිල්වා 1989.03.30 - 1989.10.31
ඉංජිනේරු කේ. යෝගනාදන් 1989.11.01 - 1994.11.30
ඉංජිනේරු ඩබ්ලිව්. එන්. එම්. බොතේජු 1994.12.01 - 1996.02.24
ඉංජිනේරු එල්. ටී. විජේසූරිය 1996.02.25 - 1999.09.30
ඉංජිනේරු ඩබ්ලිව්. පී. ජිනදාස 1999.10.01 - 2002.03.07
ඉංජිනේරු ඞී. ඩබ්ලිව්. ආර්. වීරකෝන් 2002.03.08 - 2004.04.26
ඉංජිනේරු ජී. ටී. ධර්මසේන 2004.04.27 - 2004.12.15
ඉංජිනේරු කේ. එස්. ආර්. ද සිල්වා 2004.12.15 - 2005.11.18
ඉංජිනේරු බී. එම්. එස්. සමරසේකර 2005.11.18 - 2007.12.19
ඉංජිනේරු එච්. පී. එස්. සෝමසිරි 2007.12.20 - 2010.09.10
ඉංජිනේරු ආචාර්ය ජී. පී. ඒ. ගොඩලියැද්ද /td> 2010.09.11 - 2012.06.28
ඉංජිනේරු ජී.බී.යු.කමලදාස මිය 2012.06.29 - 2015.01.02
ඉංජිනේරු වයි. ඒ. මජීඩ් 2015.01.03 - 2016.03.15
ඉංජිනේරු එස්. එස්. එල්. වීරසිංහ 2016.03.16 - 2017.02.28

ඉංජිනේරු ඩබ්ලිවි. ටී. අයි. අලගරත්නම් (1952 – 1955)  වාරිමාර්ග අධ්‍යක්ෂ ලෙස පත්වූ ප‍්‍රථම ශ‍්‍රී ලාංකික පුරවැසියා විය.

1995.06.06 වැනි දින ඉංජිනේරු ඩබ්ලිව්. එන්. එම්. බොතේජු  (1994.12.01 - 1996.02.24) ප‍්‍රථම වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් විය.

ඉදිරි පරම්පරාව වෙනුවෙන් ඔවුන් සතු වූ දැක්ම හා නායකත්ව ගුණාංග, කැපවීම හා මාර්ගෝපදේශනය හේතුවෙන් ඉංජිනේරු ඒ. ඊ. සී. ද එස් ගුණසේකර (1955 – 1965) සහ ඉංජිනේරු ඒ. ජේ. පී. පොන්රාජා දෙපාර්තමේන්තුවට ආදරය කරන ජනතාවගේ සිත්තුළ තවමත් ජීවමානව සිටිති.

 

අවසන් යාවත්කාලීන කිරීම 2016 ඔක්තෝබර් 12 වෙනි බදාදා, 08:39  







නවතම පුවත්

ගංවතුර පුරෝකථනය (Flood Warning)

ගංවතුර තත්වයේ පුරෝකථන නිවේදන පිළිබද දැනුවත් වීමට මෙම යොමුව මත click කරන්න. ...

Inundation Maps & Hydrological Annual

සිතියම් සදහා Downloads => Flood Data වෙත යොමුවෙන්න. Hydrological Annual සදහ...

කතුහිමිකම © 2017 වාරිමාර්ග දෙපාර්තමේන්තුව. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
Last Update 17-10-2017.